hot gossips

Monday, March 17, 2014

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ සුරංගනා කතා ප්‍රතික්ෂේප කරනවා

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශකයා බවට පත්වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

මේ දිනවල රටේ සිදුවන සෑම දෙයකටම ජිනීවා ඈදාගනිමින් සිටින බව හෙතෙම කියා සිටියේ අද (17) බත්තරමුල්ල, පැලවත්ත පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.


තුන්නාන ප‍්‍රදේශයේ ඇතිවුණේ රතුපස්වල ඇතිවූ සිද්ධියට සමාන එකක්. එම ප‍්‍රදේශයේ ජනතාව මාස ගණනාවක සිට විවිධ සංවිධාන හදමින් තමන්ට පැනනැගී ඇති ගැටළුව සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන්න කියලා ආණ්ඩුවට අවධාරණය කළා. ආණ්ඩුව බීරි අලි වගේ හිටියා. ගමේ පොදු ජනතාව කම්හල ළඟ උපවාසයක් ආරම්භ කළා. ගමේ පීඩාවට පත්වූ ජනතාව කියන ආකාරයට ඊයේ අලුයම පොලීසිය උපවාසයට පහර දුන්නා.

කාන්තාවන්ට, දරුවන්ට, බරපතළ ආකාරයේන පහර දුන්නා. එම පහර දීමට එරෙහිව ගමේ ජනයා විරෝධය දැක්වූවා. පොලීසිය කඳුළු ගෑස්, බැටන් පොලූ යොදාගෙන නැවත ප‍්‍රහාර එල්ල කළා. ගමේ ජනතාවගේ ප‍්‍රශ්නයට ඇහුම්කන් දෙන්නේ නැතිව කටයුතු කළා. ආණ්ඩුව අත්තනෝමතික බලය පාවිච්චි කළා. පොලීසියේ ප‍්‍රහාරවලින් ආරක්‍ෂා වීමට පන්සලට ගියපු ජනතාවටත් ආරක්‍ෂක අංශ පෝය දවස කියලා බලන්නේ නැතිව පහර දුන්නා.

රතුපස්වලදීත් ආරක්‍ෂාව සඳහා පල්ලියට ගිය ජනතාවට මේ ආකාරයෙන් ප‍්‍රහාර එල්ල කළා. සිදුවීමෙන් පොලිස් නිලධාරියෙක් ජීවතක්ෂයට පත්වුණා. එය ඉතාම කනගාටුදායක් කරුණක්. දැන් අපකීර්තිය වහගන්න ආණ්ඩුව බොරු කතා ගොතමින් ඉන්නවා. පොලීසියේ මාධ්‍ය ප‍්‍රකාශක කියනවා, කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් සැලසුම්සහගතව මේ කි‍්‍රයාවට මැදිහත් වුණා කියලා. ජිනීවාවල මතුවෙලා තිබෙන ප‍්‍රශ්නයට උත්තේජනයක් ලබාදෙන්න මෙම පිරිස කටයුතු කළා කියලා. කෙහෙළිය ඇමතිවරයා කරපු වැඩේ දැන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක බාර අරගන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශකයා බවට පත්වෙලා. මේ කාලේ රටේ කිසිම දෙයක් සිදුවෙන්න බැහැ. ජිනීවාවලට ඈදා ගන්නවා. මේ ප‍්‍රශ්නය ජිනීවාවලට සම්බන්ධ නම් ඒකේ වගකීම පොලීසියත් ආණ්ඩුවත් බාරගත යුතුයි. නිරායුධ ජනතාවට පහර දුන්නේ පොලීසියයි. මේ ආකාරයෙන් පොලීසිය බොරු කියන්න ගත්තොත් ඉතිරි වී තිබෙන සුළු විශ්වාසයත් මුළුමනින්ම බිඳ වැටෙන්න පුළුවන්.

තුන්නානේ ජනතාව බැනර්වල ලිව්වේ ‘රට බේරාගත් ජනාධිපතිතුමනි, අපේ ගම බේරාදෙන්න’ කියලා. ඒ නිසා එම ප‍්‍රදේශයේ ජනතාව පෙළපාලි ගියේ ජනාධිපතිට එරෙහිව නෙවෙයි. ඒ නිසා මේ ආණ්ඩුවට එකක් කියන්න ඕනෑ. ආණ්ඩුවේ මේ බොරු ප‍්‍රකාශවලට හෝ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ බොරු ප‍්‍රකාශවලට ජ.වි.පෙ. අපි බයවෙන්නේ නැහැ. රටේ පොදු ජනතාව වෙනුවෙන් ඔවුන් කරන ඕනෑම සාධාරණ සටනකට කොන්දේසි නැතිව අපි පෙනී ඉන්නවා, උදව් කරනවා. අපි සටනක් කරනකොට එය ඉතා සංවිධානාත්මකව කරනවා. නමුත් රටේ පොදු ජනතාව පමණක් සටන් කරනකොට විවිධ සිදුවීම් වෙන්න පුළුවන්.

ජනතාව ප‍්‍රකෝප කළා කියලා ආණ්ඩුව කියනවානම් ඒ සැලැස්මේ මුලින්ම ඉන්නේ කර්මාන්ත ශාලාවේ අයිතිකරුවන්. ඔවුන් රතුපස්වල කම්හලෙත් අයිතිකරුවන්. ඒ නිසා ජනතාව උසි ගැන්නුවේ ඔවුන් වෙන්න ඕනෑ. ඊළඟට වගකිව යුත්තේ ජනතාවට පහර දුන් පොලීසියයි. ආණ්ඩුව කළ යුත්තේ ජනතාවගේ හඬට සවන් දීමයි. නමුත් ආණ්ඩුව මානව හිමිකම් නොසලකා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොසලකා කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා තමයි අපි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නේ.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම මෙසේද සඳහන් කළේය.

අපේ රටේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා මොන්ටිසෝරි කථා කියනවා. සන්ධානේ පළාත් සභා අපේක්‍ෂකයිනුත් මේ ජනතාව සමඟ හිටියා. එතැන විවිධ පක්‍ෂවලට සම්බන්ධ අය ඉන්න පුළුවන්. පොලිස් නිලධාරියා ඝාතනය කිරීම චේතනාවෙන් කරපු එකක් නොවෙයි, උද්ඝෝෂකයින් පාර වහන්න ගස් කැපුවා. එම ගහකට යටවෙලා පොලිස් නිලධාරියෙක් මියගියා. එය කනගාටුදායක තත්ත්වයක්. නමුත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ සුරංගනා කථා අපි ප‍්‍රතික්ෂේප කරනවා.

මේ ආණ්ඩුව තීරණයක් අරගෙන නීති කඩන නිසා ඒක බේරන්න බැහැ. පැමිණිලි කරලා නවත්වන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි ස්වාධීන මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම ඕනෑ වෙන්නේ. ඒ වෙනුවෙන් අපි පරිවාස ආණ්ඩුව කාලේ 17 වැනි සංශෝධනය සම්මත කරගත්තා. එහි තිබුණු යම් යම් අඩුපාඩු සම්පූර්ණ කරන එකයි කරන්න තිබුණේ. නමුත් මේ ආණ්ඩුව එජාප මන්තී‍්‍රවරු පිරිසක් අරගෙන හදාගත්ත 2/3 බලය පාවිච්චි කරලා 17 අහෝසි කරලා 18 වෙනි සංශෝධනය සම්මත කරගත්තා. ජනාධිපතිවරයා තමයි, සියලූ නිලධාරීන් පත්කරනු ලබන්නේ. එම නිලධාරීන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්නේ කොහොමද? මේ නිසා තමයි අපි ජනතාවාදී පාලනයක් රටට අවශ්‍යයි කියන්නේ. පළාත් සභාවෙන් මේ වැඩේ කරන්න බැහැ. නමුත් පළාත් සභා මැතිවරණයෙන් අනතුරුව එම ජනතාවාදී පාලනය ගොඩනගන වැඩපිළිවෙල කි‍්‍රයාවට නගන්න කටයුතු කරනවා. මෙම ඒකාධිපති, පවුල්වාදී අත්තනෝමතික පාලනය අවසන් කිරීමෙන් පමණයි රටට යහපාලනයක් උදාකළ හැක්කේ.

දැන් තිබෙන්නේ නිලධාරීන්ගේ ප‍්‍රශ්නයක් නෙවෙයි. නිලධාරීන්ට උඩින් රාජ්‍ය බලය කියාත්මක වෙනවා. මතුගම සිදුවන නීති විරෝධී කි‍්‍රයා නවත්වන්න පොලීසියට පුළුවන්කමක් නැහැ. මොකද නීතිය කි‍්‍රයාත්මක කරන්න ගියාම ඇමතිවරයා පොලිස් නිලධාරීන් එළවා ගන්නවා. පොලීසියට කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. හකීම්ලට දේශපාලන ප‍්‍රතිපත්තියක් නැහැ. ඔවුන් වැඩකරන්නේ බලය වෙනුවෙන් පමණයි. ආණ්ඩුවට ඇවිත් ආණ්ඩුවේ බලය වැඩිකළා. 18 වෙනි සංශෝධනය සම්මත කරන්න උදව් කළා. අඩුම තරමේ මුස්ලිම් ජනතාව ගැනවත් බැලූවේ නැහැ.

රටේ ජනතාව මේ ආණ්ඩුවට 2/3ක් දුන්නේ නැහැ. ජනතාව නොදීපු එම බලය ආණ්ඩුවට දුන්නේ හකීම්ලයි, එජාපයෙන් පැන්න මන්ත‍්‍රීවරුයි. දැන් හකීම්ලා වපුරපු දේවල් නෙළා ගනිමින් ඉන්නවා. කනගාටුවට කරුණ, එම ප‍්‍රතිඵල ජනතාවටත් බුක්ති විඳීමට සිදුවීමයි.

මෙම මාධ්‍ය හමුවට ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් සහ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති යන අයද සහභාගි වූහ

No comments:

Post a Comment